Friday, August 26, 2016

සිංහයා නැති ජාතික කොඩියක්‌ ! , අනාගාමික රාජ්‍යයක්‌ !! - ගෙවිඳු කුමාරතුංග


සිංහයා නැති ජාතික කොඩියක්!  අනාගාමික රාජ්‍යයක් !!
ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ දුර්මත.
-ගෙවිඳු කුමාරතුංග


අප රටේ ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා මහජන අදහස් විමසීමට පත් කෙරුණු නීතීඥ ලාල් විජේනායක මහතා ගේ ප්‍රධානත්වයෙන් වූ කමිටු වාර්තාව දැන් ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව’ නමින් එළිදක්වා ඇත. ඒ වාර්තාවේ හැඳින්වීමෙහි (1 වන පරිච්ඡේදය) දක්වා ඇති පරිදි ම එහි ඇත්තේ, “කමිටුවට ලැබුණු අදහස් පිළිබඳ සාකච්ඡාවක් හා අපේ (කමිටුවේ/කමිටු නියෝජිතයන් ගේ) නිර්දේශ ය.” (5 පිටුව)

එහි දී රාජ්‍ය ස්වභාවය යටතේ දක්වා ඇති අදහස් අපහැදිලි ය. අවසානයේ දී කමිටු සාමාජිකයන් සියලු දෙනා (කලාප පාලනයක්, ෆෙඩරල් පාලනයක් වෙනුවෙන් පෙනී සිටි අය පවා) ඒකීය රාජ්‍යයකට එකඟ වූ බව පැවසේ (23-24 පිටු). මේ ඒකීය රාජ්‍යයේ රඟ ‘බලය බෙදාහැරීම’ පරිච්ඡේදයෙන් මොනවට පැහැදිලි ය. පළාතක ආණ්ඩුකාරවරයා හා සම්බන්ධ මේ කමිටුවේ නිර්දේශ බලන්න (57-58 පිටු):

■ “මහඇමති ගේ එකඟත්වය ඇතිව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරයා පත් කළ යුතු ය.” 
ඒ කියන්නේ දැන් වගේ ජනාධිපතිට ස්වාධීනව පත් කරන්න බැරි බවත් එයට මහ ඇමති ගේ අනුමැතිය වුවමනා බවත් ය. එ පමණ ද?
■ “ආණ්ඩුකාරවරයා කටයුතු කළ යුත්තේ මහ ඇමතිවරයාගේ උපදෙස් මත ය.”
■ “පළාත් සභාවලින් සම්මත කරන පනත්වලට ආණ්ඩුකාරවරයා අනුමැතිය දීම අවශ්‍ය නොවේ.” 
■ “බලය බෙදාහරින ලද ඒකකයේ විධායක අංශය වන්නේ ප්‍රධාන ඇමතිවරයා සහ ඇමති මණ්ඩලය යි. ආණ්ඩුකාරවරයාට කිසිඳු විධායක බලයක් හිමි නොවේ.” 
අපූරුයි නේ ද ඒකීය කියන ලේබලය ගහල නිර්දේශ කරන දේ? ජනාධිපතිවරයාට තමන් පත්කරන ආණ්ඩුකාරවරු මඟින් පළාත් එකට ගැටගසා තබාගත නොහැකි නම්, ජනාධිපතිවරයා ගේ විධායක බලයට පළාත්වල විධායක බලය පාලනය කළ නොහැකි නම් එ තැන කොහේ ද ඒකීය රාජ්‍යයක්?

අනාගාමික රාජ්‍යයක්!
 
ඊළඟට බලමු මේ වාර්තාවේ ‘ආගම’ කියන පරිච්ඡේදය.
■ “ශ්‍රී ලංකාව අනාගාමික රාජ්‍යයක් විය යුතු යි (17 පිටුව, සඩ නිර්දේශය). ආගම රාජ්‍යයේ විෂය පථයට අයත් නොවිය යුතුයි.” 
මේ කියන්නේ ව්‍යවස්ථාවේ ‘බුද්ධාගම’ කියන කොටස සම්පූර්ණයෙන් ඉවත් කරන්න කියලා. ඒක රාජ්‍යයට අවශ්‍ය නෑ කියලයි මේ කියන්නේ. එය කළ නොහැකි නම් තවත් නිර්දේශයක් තිබෙනවා.
■ “තවත් අදහසක් වූයේ රජය සියළු ආගම් සමාන ලෙස පිළිගෙන ආරක්ෂා කළ යුතු බවත් මේ නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අදාළ පරිච්ඡේදය බුද්ධාගම නොව ආගම වියයුතු බවත් ” (17 පිටුව, සස නිර්දේශය හා 15 පිටුව).
ඊටත් අපූරුයි ඊ ළඟ යෝජනාව:
■ “බුද්ධාගම පෝෂණය කර ආරක්ෂා කළ යුතු යැ යි පවසන සමහරකු එයට බුද්ධ ශාසනය ඇතුළත් නොවිය යුතු යැ යි කියා සිටියේ ය.” (15 පිටුව)

භික්ෂූන් වහන්සේලා, පන්සල් ටික, දායකදායිකාවන් අයිති නැත්නම්, බුද්ධ ශාසනය අයිති නැත්නම් මොකක් ද ආයේ ඉතිරි වෙන බුද්ධාගම? කොහොම ද මේ දුෂ්ඨ උපාය! මුලින් ම ආගම කියන කොටස ම අහෝසි කරල දාන්න. එහෙම බැරි වුනොත් බුද්ධාගම අයින්කර ආගම කියා යොදන්න. ඒකත් බැරි වුනොත් බුද්ධ ශාසනය ඉවත් කර බුද්ධාගම කියන වචනය විතරක් ඉතුරු කරන්න. මේ මොළ නම් දෙවියන් ගේ ආනුභාවයෙන් ම ලැබුණු මොළ විය යුතු ය.

බුද්ධාගම ඉවත් කරගන්න මේ තරම් උත්සාහ කරන මහත්වරු ආගම් සහ ජනවර්ගයන් ගේ නම්වලින් තිබෙන දේශපාලන පක්ෂ තහනම් කරන ලෙස මහජනතාව ගෙන් සමහර කොටසක් ඉල්ලුවා ම ඒකට දෙන ප්‍රතිචාරය බලන්න:

“යම්කිසි වාර්ගික ආගමික අනන්‍යතාවයක් සහිතව තමන් හඳුනාගන්නා දේශපාලන පක්ෂ සමහර අයෙක් තදින්ම විවේචනය කළෝ ය. ඔවුන් කියා සිටියේ එවැනි පක්ෂ තහනම් කළ යුතු බව යි. ඒ පිළිබඳ ගැඹුරින් සලකා බැලූ කමිටුවේ අදහස එවැනි පක්ෂ මේ මොහොතේ තහනම් කිරීම සිදු නොකළ හැකි බවත් ඒ නිසා අනවශ්‍ය ගැටුම් ඇතිවිය හැකි බවත් ය.” (150 පිටුව)

අපූරුයි නේ ද? බුද්ධාගම ඉවත් කළාට ගැටුම් ඇති වෙන්නේ නෑ. ජාතිවාදි පක්ෂ ඉවත් කළොත් අනවශ්‍ය ගැටුම් ඇති වෙනවලු. බුද්ධ ශාසනය ඉවත් කරන්න පුළුවන්, දෙමළ සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය ඉවත් කරන්න ගියොත් එහෙම ඒක ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා මේ මහත්වරු කියනවා. මේක තමයි අපට පිළිගන්න කියන කතන්දරේ.

ජාතික කොඩිය සහ ජාතික ගීය 

ජාතික ගීය ගැන නොයෙක් කතා කියා අවසානයේ කියනවා, “අප ගේ නිර්දේශ ඉදිරිපත් කිරීමේ ආරම්භක ස්ථාවරය වූයේ සිංහල හා දෙමළ යන භාෂා දෙකෙන් ම ජාතික ගීය ගායනා කිරීමට රජය දැනටමත් තීරණය කර ඇත යන්නයි” (12 පිටුව) ලෙස.

ජාතික ගීය ගැන කියද්දි පටන් ගන්නේ ම දැනට ම භාෂා දෙකෙන් ම කියනවා කියන පදනම මත. එහෙම බැලුවා ම දෙවියනේ බුද්ධාගමට මේ රට ම පූජා කරලා තියෙනවනේ දැන් අවුරුදු දහස් ගණනක ඉඳලා. 1815 දී සුද්දා ඇවිත් අත්සන් කරපු ගිවිසුමෙත් තියෙනෙවනේ බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කරනවා කියා. ඉන් පසු හැදූ හැම ව්‍යවස්ථාවක ම එය ඇතුලත්ව තිබෙනවා. 1972 ජනරජ ව්‍යවස්ථාව හැදූ කොල්වින් ආර් ද සිල්වා මහතා පවා එය පිළිගත්තා. කොතරම් උග්‍ර වාමාංශිකයෙක් වුණත් එතුමාටත් සිද්ධවුණා එය පිළිගන්න. 1915 ගම්පොළ මුස්ලිම් පල්ලිය ඉදිරියෙන් පෙරහැර පැවැත්වීම ගැන දුන් නඩුතීන්දුවේ දී පෝල් ඊ. පීරිස් විනිශ්චයකාරතුමා ප්‍රකාශ කරනවා උඩරට ගිවිසුම මේ රටේ මූලික නීතියේ කොටසක් බව. ඒ අනුව බුද්ධාගම ආරක්ෂා කොට පෝෂණය කිරීම රජයේ වගකීමක් යන්න ව්‍යවස්ථාවට ඇතුළුවෙන්න අවශ්‍ය බව එදා කොල්වින් ආර් ද සිල්වා මහතා පිළිගත්තා. ඒ හැම ව්‍යවස්ථාවක ම තිබෙන බුද්ධාගම මොවුන්ට පිළිගන්න බෑ. හැබැයි ජාතික ගීය ගැන කියද්දි දැනට රජයේ ස්ථාවරය මෙහෙමයි, ඒ නිසා අපි පටන් ගන්නේ එතනින් ය යි කියනවා.

මොවුන් ජාතික කොඩිය පිළිබඳවත් මෙහෙම නිර්දේශ කරනවා:
“ජනවර්ග පිළිබඳ සඳහනකින් තොරව, ශ්‍රී ලාංකික සාමූහික ජීවිතය නියෝජනය වන අනාගමික රාජ්‍යයකට සුදුසු නව ධජයක් නිර්මාණය කෙරේ” (11 පිටුව).

මේ කියන්නේ වෙනකක් නෙවෙයි, සිංහයත් එපා, බෝ කොළ හතරත් එපා. ආණ්ඩුවෙන් පත් කරලා, ආණ්ඩුවෙන් පඩි ගෙවලා, ආණ්ඩුවෙන් පහසුකම් දීලා කටයුතු කරන කමිටුවක මහත්වරුන් ගේ නිර්දේශ තමයි මේ.
නෝර්වේ රාජ්‍යයේ බහුතර ජනයා අයිති වන්නේ ඉවැංජිකල් ලූතරන් නිකායට යි. නෝර්වේ ව්‍යවස්ථාවට අනුව ඔවුන් ගේ රාජ්‍ය නායකයා අනිවාර්යයෙන් මේ නිකායේ කෙනෙක් විය යුතු යි. ඒ විතරක් නොවෙයි, නෝර්වේ රාජ්‍යයේ මේ නිකායේ දෙමව්පියන් ගේ දරුවන් ආගම වෙනස් නොකළ යුතු යි. ඔන්න අපට ෆෙඩරල් බණ කියන, රාජ්‍යය අනාගාමිකවීමේ වැදගත්කම කියන මහත්වරුන් ගේ ආගමික නිදහස! සාර්ථකත්වය අතින් ලෝකයේ ඉහළ ම රටක් නෝර්වේ. අපි අනුගමනය කළ යුත්තේ ඒ අය දියුණුවීමට ගත් ක්‍රියාමාර්ග ද? ඔවුන් අපට කියන වැදිබණ ද?

මැතිවරණ ක්‍රමය 
 
එහි නිර්දේශ කරනවා ඇතිකරන්නට යන මිශ්‍ර ක්‍රමයේ කේවල ක්‍රමයට හා සමානුපාතික ක්‍රමයට වෙන වෙන ම ඡන්ද පත්‍රිකා දෙකක් දෙන්න. කේවල ක්‍රමයේ දි ගැහැණු සහ පිරිමි වශයෙන් තවත් ඡන්ද පත්‍රිකා දෙකක් දෙන්න. (156 පිටුව)
දැන් මේ ආකාරයට ඡන්ද ක්‍රමය සංකීර්ණ කළා ම මොකද වෙන්නේ? ඡන්ද දායකයාට තමන් ගේ ඡන්දයේ ප්‍රතිඵල ගැන විශ්වාසයක් නැතුව යනවා. මනාප ක්‍රමය තුළත් මේ දේ දැනටත් සිද්ධවෙලා තිබෙනවා. රෝසි සේනානායක මහත්මියත් පැරදුණේ මනාප කොල්ල කාපු නිසා කියලා කියනවනේ. දැනටත් අගමැතිවරයා ගේ හිතවතියටත් ඡන්ද ප්‍රතිඵල සැකයි නම් මේ විදියට කිසිවෙකුටත් නොතේරෙන අතිශය සංකීර්ණ ඡන්ද ක්‍රමයක් ගෙනාව ම මොනවයින් මොනවා නොවෙයි ද?

පරිගණකයෙන් ඡන්ද දැමීමට, ඩයස්පෝරාවට ඡන්ද අයිතිය දෙන්නත් මොවුන් යෝජනා කරනවා. මේ සියල්ල ම එකතු වුණා ම ජනමතය කුමක් වුවත් අවසානයේ පරිගණක නැතිනම් තාක්ෂණික විශේෂඥයන් කිහිප දෙනෙකු අතට මේ ජනමතය ප්‍රකාශ කිරීම හැසිරවීමට හැකියාව ලැබෙනවා. මේ බිහිසුනු ඒකාධිපති පාලකයන් ගේ උපායමාර්ග නොවේ නම් වෙන මොනවා ද?
ඒ විතරක් නොවේ. මේ ආකාරයට පුද්ගලයාට හා පක්ෂයට වෙන වෙනම ඡන්දය දීමට ඉඩ දුන්නහොත් එය ඡන්ද දායකයා නොතකා කෙරෙන මහා පරිමාණ ඡන්ද දූෂණයන්ට හා ඡන්ද වෙන්දේසින්ට හේතු වනවා නොඅනුමාන ය. ඒ හා ම කිසිවකුට බහුතරයක් නොලැබෙන දුර්වල පාර්ලිමේන්තුවක් බිහි වීම ද සිදුවනු ඇත. මොවුන් මේ යෝජනා කරන්නේ ජනාධිපති ධූරයත් නැති කොට, නැතිනම් දුර්වල කොට කිසිවෙකුට ආණ්ඩු පිහිටවිය නොහැකි දියාරු පාර්ලිමේන්තුවක් ද බිහි කරන්නට ය. එදා අපව අනාථ කළේ රටට රජු අහිමි කිරීමෙනි. මේ සියලු නිර්දේශ සිදු කර ඇත්තේ මේ රට රැකගත හැකි රජයක් කිසිදා පත් නොවන තැනට කටයුතු සැලැස්වීමට ය.

මෙහි දී මා විසින් උපුටා දක්වා ඇත්තේ ඉහත කමිටු වාර්තාවේ ඒ ශීර්ෂයන් පිළිබඳ වන සියලු නිර්දේශයන් නොවේ. කමිටුව නොවේ නම් කමිටුවේ බහුතරයක් දෙනා කර ඇති නිර්දේශ ය. පවතින ජාතික කොඩිය තබාගත යුතු ය, බුද්ධාගමට ප්‍රම්ඛස්ථානයක් ලබාදිය යුතු ය ආදී නිර්දේශ ද ඉහත උපුටා දැක්වූ නිර්දේශ අතර වන නමුත් ඒ නිර්දේශ ඉදිරිපත් කරන්නේ දහනව දෙනෙක් ගෙන් සැදුම් ලත් කමිටුවෙ එක්කෙනෙකි; නැතිනම් දෙන්නෙකි.

ජනාධිපතිතුමා ගේ අනවබෝධය

පසුගිය දා ගාල්ලේ පැවති උත්සව සභාවක දී පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන් ‘අනාගාමික ව්‍යවස්ථාවල් හදන්න ගොස් නැති ප්‍රශ්න ඇති කරන්නේ මන්ද?’ යැ යි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන් විමසූ විට එතුමා දුන්නේ අපූරු පිළිතුරකි. “.... මහජනයා දුන් යෝජනාවල ඔබ වහන්සේ දුන් කරුණු ඇතුළත් වී තිබෙනවා. එම මහජන අදහස් වලින් අපි ගන්නේ අපට සුදුසු ගත යුතු දේ පමණයි ....” (2016 ජුනි 29, දිවයින)

මෙ මඟින් පෙනෙන්නේ ‘පත්තර’ තම යුතුකම ඉටු කර නැති බව ය. ලාල් විජේනායක කමිටු වාර්තාවේ 17 පිටුවේ පැහැදිලිව ම නිර්දේශ යටතේ ‘ශ්‍රී ලංකාව අනාගාමික රාජ්‍යයක් විය යුතු ය’ යනුවෙන් දක්වා ඇති අතර ‘ආගම’ පරිච්ඡේදයේ දී වැඩි ම සාමාජිකයන් සංඛ්‍යාවක් සිදු කර ඇති එක නිර්දේශයක් එය යි. සිරිසේන ජනාධිපතිතුමා ඒ ගැන හාන්කවිසියක් වත් නොදන්නේ මේ තාක් ‘පත්තරවල’ ඒ ගැන කිසිවක් පළ නොවූ නිසා විය යුතු ය.

ව්‍යාවස්ථාව පිළිබඳ දුර්මත


අගමැති කාර්යාලය ද ලාල් විජේනායක කමිටු වාර්තාවේ ඇත්තේ ව්‍යවස්ථාව පිළිබඳ ජනතාව දැක්වූ අදහස් මිස රජයේ අදහස් නොවන බවටත්, එය ව්‍යවස්ථා සම්පාදනයට පාදක කරගත්ත ලියවිල්ලක් නොවන බවටත් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. ඒ කමිටු වාර්තාවේ නිර්දේශ උපුටා දක්වමින් අතිපූජ්‍ය භික්ෂූන් වහන්සේලා හා දේශමාමක උගතුන් බුද්ධමතුන් දක්වන අදහස් ව්‍යවස්ථාව පිළිබඳ දුර්මත පැතිරවීමක් ලෙස ද ඒ නිවේදනය මඟින් දක්වා ඇත.

ලාල් විජේනායක කමිටුවේ අදහස් හා නිර්දේශ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ තේරීම් කාරක සභාව හා සම්බන්ධ කිරීමට ද රජයේ ඇතැම් මාධ්‍ය උත්සාහ කර තිබුණි. එහෙත් ලාල් විජේනායක කමිටුව පත්කරනු ලැබුයේ මේ වසරේ මාර්තු මස ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට පාර්ලිමේන්තු අනුමැතිය ලැබීමටත් පෙර මේ වසරේ ජනවාරියේ දී ය. ඒ කමිටු වාර්තාවෙහි ම දක්වා ඇති පරිදි අමාත්‍ය මණ්ඩලය විසින් ය (v පිටුව). එහි දී අවශ්‍ය පහසුකම් ලබා දීමේ දී මූලික කාර්යභාරයක් සිදුකොට ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලය බව වාර්තාවේ ම ලබාදුන් සහාය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාට හා චරිත රත්වත්තේ මහතාට තුති පුදා තිබීමෙන් පෙනේ (iii පිටුව).

දැන් නීතීඥ ලාල් විජේනායක මහතා ගේ කමිටු වාර්තාවේ එන යෝජනා හා නිර්දේශ බහුතරයක් රටට අවැඩදායී, රටට හානිකර දුර්මත නම් මේවා රජයේ මුද්‍රණාලයේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාත්‍රයෙන් ම මුද්‍රණය කරමින් බෙදාහරින්නේ මන් ද? රජය මේ ක්‍රියාවලියේ හානිකර බව, විනාශකාරී බව පිළිගන්නේ නම් නොපමාව මේ දුර්මත ප්‍රචාරය නවතා සිදුකළ චිත්ත වේදනා වෙනුවෙන්, සිදුකළ අපහාසය වෙනුවෙන් මේ රටේ මහසඟරුවන ගෙන් සමාව අයදිනවා ද? මහජන මුදල් අපයෝජනය කරමින් රජයේ සම්පත්, රජයේ කාර්යාල, රජයේ මුද්‍රණාලය යොදාගනිමින් රටට, ජනතාවට, ජාතික සංහිඳියාවට හා බුද්ධ ශාසනයට එරෙහි ව කටයුතු කළ පුද්ගලයන්ට හා බලධාරීන්ට එරෙහිව පියවර ගන්නේ ද?
 
[මෙම ලිපිය 2016-07-11 වන සඳුදා දිවයින පුවත්පතේ ද පළවිය]

No comments:

Post a Comment